Tuesday, October 24, 2017

කසාගල රජමහා විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්ගැටේ නගරයට ආසන්නයේ පිහිටා ඇති පුරාණ කසාගල රජමහා විහාරය අනුරාධපුර යුගයේ වළගම්බා රජු සමයේ ඉදිකළ බවට සාධක ලැබී ඇත.


දේවානම්පියතිස්‌ස රජු දවස තෙක්‌ දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම ස්‌ථානයේ දේවානම්පියතිස්‌ස රජු විසින් අනුරාධපුරයේ සිට යොදුනෙන් යොදුන ඉදිකරන ලදැයි සැලකෙන යෝජන (යොදුන්) ස්‌ථූපයක්‌ පිහිටවූ එක්‌ ස්‌ථානයක්‌ ලෙස සැලකේ. වළගම්බා රජුට සැඟවී සේනා සංවිධානය කිරීම සඳහා කසාගල පුදබිම රැකවරණය ලබාදී ඇති අතර පුරාතනයේදී භික්‌ෂුන් වහන්සේලා නිසා මෙම පුදබිම කසාවතින් බැබළුණු නිසා කසාගල යන නාමය මෙම ස්‌ථානයට භාවිත වන්නට ඇති බව විශ්වාස කෙරේ.


කසාගල විහාරය වෙත පියමං කරන්නකුට පළමුවෙන් විහාර මළුවට ඇතුල්වීමේදී දර්ශනීය පියගැටපෙළක්‌ තරණය කිරීමට සිදුවේ. මෙම විහාර සංකීර්ණය නව විහාරය හා පැරැණි විහාරය යනුවෙන් කොටස්‌ දෙකකින් සමන්විතය. එතෙක්‌ විහාර දෙකේම දර්ශනීය ලෙස කටාරම වැසී ජලය විහාරය තුළට සේන්දු නොවන ආකාරයට පළල්ව කොට ඇත.


කසාගල රජමහා විහාරයේ ඇති පුරා විද්‍යාත්මක වශයෙන් ඉමහත් වැදගත්කමක්‌ ගන්නා අංශය වන්නේ ප්‍රධාන ලෙන් විහාරයට යාබදව ඇති කුඩා ලෙන් විහාරයයි. විහාරයට පිවිසෙන ස්‌ථානයේ ඇති සඳකඩ පහණ සුවිශේෂ හැඩයකට නිමවා තිබේ. එහි කැටයම් දක්‌නට නොමැත. වර්තමානයේ මෙහි බිතුසිතුවම් හා ප්‍රතිමා ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙයි. මෙහි චිත්‍ර හා ප්‍රතිමා ලක්‌ෂණ බොහෝ සෙයින් මහනුවර යුගයට නෑකම් කියන ස්‌වරූපයක්‌ දරයි. එහෙත් මේවා හදිසියේම මහනුවර යුගයේ නිර්මාණය කරන ලද ඒවා නොව අනුරාධපුර, පොළොන්නරුව හා අනෙකුත් යුගවල අඛණ්‌ඩව ඉදිරියට ගලා ආ සම්ප්‍රදායේ විකාශයකි. ගජසිංහ ලක්‌ෂණ සහිත පැරැණි මකර තොරණ විහාරාභිමුඛයේ දොරටු දෙපසද විද්‍යාමාන වේ. සූවිසි විවරණය, මාර පරාජය, ජාතක කතා, වියත් චිත්‍රයෙන් මුළු ලෙන් විහාරයම සලසා තිබේ. 




No comments:

Post a Comment